වර්ථමානය
යූතර්ගේ කුටියේ බ්ම පිරිසිදු කිරීම, මොගානාගේ කුටියේ නැවුම් මල් තැබීම , ගයස්ගේ කුටිය ඇමදීම, ෆීනික්ස් කොරිඩෝව හැඩවැඩ කිරීම , මකුළුදැල් ඉවත් කිරීම වැනි කර්යයන් රැසක් අවසානයේ ... නැවතත් ගාම්භීර බවක් ගම්‍යවන බලකොටුවකි. ඔව් .. මේ සියල්ල මර්ලින් විසින් කළ දෑයි.
හිරු අවරට යමින් තිබිණ . බලකොටුව පිරිසිදු කිරීමේ දීර්ඝ දවසකට පසු මර්ලින් . මාළිගයෙන් පිටව යාමට සැරසුණි . බලකොටුවේ පිටිය මැදින් ඔහු පිටතට ඇවිද ගියේය . මර්ලින්ගේ සන්තානයේ නිරතුරුව ම ලැගුම් ගත්තේ ආතර් ය . අද දිනය අවසානයේ හෝ ආතර්ගේ නැවත පැමිණීම සිදුවේ යැයි සිතුවත් එය එසේ නොවුණ හෙයින් තවත් රාත්‍රියක් තනිකමින් හා පාලුවෙන් ගත කිරීමට මර්ලින් හිත හදාගත්තේ ය.
කුමක් හෝ අමුතු හැගීමක් නිසා මර්ලින් ඔහුගේ ගමන නවතා එකවර නතර විය . කාලය ඉතා හෙමින් ගලායන බවක් එකවරම මර්ලින්ට දැනෙන්නට පටන් ගත්තේ ය.සුළගේ දිශාව වෙනස් වුණි. මර්ලින් හදිසියෙන් ඒ මේ අත බැලුවේය . ඔහුගේ නෙත ගැටුණේ බලකොටුවට ඉහළින් උත්දීප්තව බැබලෙමින් අවරට බැස යන හිරුය. හිරු එළිය වළාකුළු අතරින් විනිවිද විත් මර්ලින් වටා හැඩගැස්වුණි.
සිදුවන්නේ කුමක්දැයි මර්ලින්ට සිතා නොහැකි ව ඔහු අහස දෙස විපරමින් බැලුවේය.
නමුත් පසුවයි. ඔහුට වැටහුණේ , ඔහු බැලිය යුතු ව තිබුණේ අහස දෙස නොව හිරු එළිය ඒකරාශී වූ ස්ථානය දෙස බව.
මර්ලින්ට පහළින් නීල පැහැයෙන් දිලෙන තෘණ පිඩලි මත රාජකීය පෙන්ඩ්‍රැගන් කිරීටයේ හැඩය හිරු කිරණින් ඇඳී තිබුණි. රාජකීය අභිමානය එහි මනාව පිළිබිඹු වුව ද එහි එක් දෙයක් වෙනස්ව ගොස් තිබුණි. එනම් රාජකීය ලාංජනයේ සිට මකරා කිරුළත් පැළඳ සිටියේ ය.
සිඳු වූ දේ කුමක්දැයි අදහාගත නොහැකි වූ මර්ලින් අංගnයෙන් පිටතට ආවේය මහත් කුතුහලයෙනි. සිදු වූ දෙය පිළිබඳ ඔහුගේ සිත තුළ පැවතියේ දෙගිඩියාවකි. කල්පනාවෙහි නිමග්න ව මර්ලින් බලකොටුවෙන් පිටත් ව බලකොටුවේ ප්‍රාකාරය දක්වා පැමිණියේ ය. නැවත වරක් ඔහු අහස දෙස බැලුවේ ඔහු පෙර බලාපොරොත්තු සුන් කරගත් නමුත් තවමත් එම බලාපොරොත්තුව මල්ඵල ගැන්වීමට කාලය ඇති බවට මොනයම් හෝ ඉගියක් අහස් කුසෙහි සැගවී ඇත්දැයි දැනගැනීමට ය.
දහස් ගණන් තරු ගුවන සිසාරා විසිරී තිබුණි . එකවරම, ඒවා එකින් එක වඩා දීපතිමත් එළි විහිදුවීමට පටන් ගත්තේ ය . තාරකා වල සිට ඉරි ඇන්දාක් මෙන්, තරකා වල සිට පීත්ත පටි ඇන්දාක් මෙන් ඉතා දිප්තිමත් ආලෝක කදම්භ විහිදු වීමට පටන් ගත්තේය. නිමේෂයකින් එම තාරකා හරහා වර්ණවත් එළි විහිදුවමින් වේගවත් ඊතල මෙන් පැන ගියේ ය . ඒ සියල්ල ගමන් කළේ එක ම දිශාවකට ය . ඔව් .. ඒවා ගමන් කළේ ඇවලොන් විල දෙසට යි. මර්ලින්ට , සැනෙකින් ඇවලොන් විල හා ආතර් ව මතක් විය.
මර්ලින් : ( තමාට ම කොඳුරමින් ) ඇවලොන් විල .... ආතර් !
මර්ලින්ට සියල්ලම අමතක විය . ඔහුට මතකය ඇත්තේ ආතර් ගැන ම පමණි. වෙනත් කිසිවක් ගැන නොසිතූ ඔහු ඇවලොන් විල දෙසට දිව්වේ ය. මර්ලින් වනය පීරමින් ගමන් කළේ ය. ඒ අතරතුරම ඔහු හඩිසි බැල්මක් අහස දෙසට යොමන්නට ද අමතක කළේ නැත . තවමත් අහසේ ඇති තාරකා ඇවලොන් විල දෙසට ගමන් කරමින් තිබුණි. විල්තෙරට එන්නට මොහොතකට පෙර එකිනෙකට වෙලී තිබූ ලතාවන්ගේ පැටළුණු මර්ලින් පැතලි විල් ඉවුරට වැටුණේ ය..
මර්ලින්ගේ දෑස් සැම දිශාවට ම ඉක්මනින් ගමන් කළේ ය. නමුත් විශේෂ කිසිවක් නොවී ය. මර්ලින් බලා පොරොත්තු වූ ආකාරයේ කිසිවක් එහි නොවීය . බලාපොරොත්තු සුන් වූ මර්ලින් හෙමින් හෙමින් විල්තෙරෙහි කොණකට ආවේය. එවිට විලෙහි ගැඹුරු දියෙහි රිදී පැහැති ගිනිජාලාවක් මෙන් සියුම් දිස්නයක් මර්ලින්ගේ නෙත ගැටුණි . ඔහු ඒ දෙස මහත් ඕනෑ කමින් බැලුවේය . විලෙහි දිස්නය ක්‍රමයෙන් අධික විය . එකවරම දෑස් අන්ධවන තරමේ ධවල පැහැ ආලෝකයක් විලෙන් මතු විය. මර්ලින් පිටුපසට විසි වී ගසක වැදුණේ ය . ඊට සුළු මොහොතකට පෙර විලෙහි වූ ධවල ආලෝකය අදුරට හැරුණි . තාරකා ගමනය ද නතර විය. තවත් වරක් මර්ලින් තනිවිය.
කිසිවක අර්ථයක් නොදත් මර්ලින් විල් දිය කරා යාමට ඔහුට ම බල කරේය. ඔහු පරිසරය හොඳින් පිරික්සුවේ ය. නමුත් අවට පරිසරයෙත් ඇවලොන් විලත් සාමාන්‍ය ලෙස ම පෑවතුණි . එහි කිසිදු වෙනසක් හෝ නොවීය.
මර්ලින්ට නැවතත් තනිකමක් හා පාළුවක් දැනුණි . පෙනෙන අන්දමට නම් ඔහුට නැවතත් වැරදී ගොසිනි. ආතර් කොහි හෝ පෙනෙන්නට සිටියේ නැත . බලාපොරොත්තු සුන් වූ නිමේෂයකින් පසු ව මර්ලින්ව නැවත හැරී ආපසු එන්නට පටන් ගත්තේ ය.
"මර්ලින්"
කවුරුන් හෝ මර්ලින්ව ඇමතුවේය . මර්ලින් ඉද්ද ගැසුවාක් මෙන් නතර වුණි. එය විය හැකි ද ? මර්ලින් ටිකෙන් ටික ඔහුගේ හිස හැරෙව්වේ ය . මර්ලින් ගේ ඇස් අදහා ගත නොහැකි විය . ඔව් ඒ ඔහු මෙතෙක් කල් බලා සිටි දේය. අවුරුදු 1500ක් පුරාවටම ඔහුගේ හඳ රැඳි බලාපොරොත්තුව ය.
ආතර් විලෙහි රැඳී සිටියේ ය. ඔහුගේ දණක් තෙක් දියේ ගිලී තිබුණි. ආතර් සිටියේ මර්ලින් දෙස නෙත් යොමාගෙනය . දියෙන් මතු වූවත් කෙසේ හෝ ආතර්ගේ ඉගටිය තෙක් වියළිය . සන්නද්ධය , රන්වන් කිරීටය , ලෝහිත වර්ණයෙන් යුත් පිටුපස ලෝගුව , බඳපටියේ රැඳි ප්‍රමුදිත වූ අසිපත; එක්ස්කැලිබරය.. මේ සියල්ල සපිරි කැම්ලොට් හි රජුගේ ප්රතාපය අසමසම විය.
මර්ලින්ගේ සිරුර සිරවී ඇති බවක් ඔහුට දැනුණි. ඔහු ගොළු විය .. සෙලවීමට හෝ නොහැකි විය .. හුස්ම ගැනීමට පවා ඔහුට අමතක විය..
ආතර් මර්ලින් ව නැවතත් ඇමතුවේ ය.
ආතර් : මර්ලින් ?
මර්ලින් තවදුරටත් ඉදිරිය බලාගෙන සිටියේ ය. සිය බලාපොරොත්තුව ඉටු වූ ආකාරය ගැන නම් තවමත් ඔහුට විස්මයක් වී ඇති සෙය කී.
අතර් : මර්ලින් ?
මර්ලින් ඉතා අසීරුවෙන් සිය මුඛය විවෘත කළේ ය.
මර්ලින් : ආතර් ?
ආතර් : හලෝ මර්ලින් !
මර්ලින් : ආතර් ...
අපහත වූ භාෂණයකින් මර්ලින් පිළිතුරු දුන්නේ ය.
වසර 1500 ක සමුගැනීමක් ආතර්ගේ එක් තනි වචනයකින් වියැකී ගිය ආකාරය මර්ලින්ට ද පුදුමයක් විය..
ආතර් ඇවලොන් විලෙහි සිට විල් ඉවුර දෙසට පා නැගුවේ ය. තම සිත තුළ තිබූ සිහිමුළාවෙන් හදිසියේ ම මිදුණු මර්ලින් විල දෙසට ඉක්මනින් දිව්වේ ය. ඔහු අහම්බෙන් ලිස්සා වැටුණි. ඔහු නැවත නැඟීසිටියේ ය. කහිමින් හා දොඩවමින් නැවතත් ආතර් වෙත දිව්වේ ය . ආතර් සිනා සී මර්ලින්ට උදව් කිරීමට ඔහු වෙත ආවේ ය. නමුත් ඔහු ඒමට පෙර මර්ලින් නැගී සිට අවසන්ය.
මර්ලින් : ආතර් !
මර්ලින් ඔහුගේ දෑත් ආතර් වටා යැව්වේ ය. ආතර් ඔහුව දැඩි ලෙස ග්‍රහණය කර තදින් වැළඳගත්තේ ය . මර්ලින් ඉකිබින්දේ ය . අවුරුදු 1500 ක් පුරා ඔහු බලා සිටි මොහොත මෙය විය . ආතර් හා මර්ලින් බොහෝ වේලා ඔවුනොවුන් වැළඳගෙන සිටියහ.
ආතර් : ඔබව දැකිම සතුටක් මර්ලින්.
මර්ලින් : මම.... මම....
මර්ලින් ගොත ගැසුවේ ය.
ආතර් : නැහැ මර්ලින් .. ඔබ කිසිවක් කිවයුතු නැහැ.
නමුත් මර්ලින්ට ඔහුගේ වදන් පිටකළ යුතු ම විය . ඔහු කථා කිරීමට තරම් හඬක් උපයාගත්තේ ඉතා අසීරුවෙනි.
මර්ලින් : මම ඔබ එනකන් බලා සිටියා ආතර් . මේ මුළු කාලයම මම සිටියේ ඔබ එනතුරුයි.
ආතර් ම්හොතකට කිසිවක් කථාකිරීම නැවැත්වූවේ ය . " මේ මුළු කාලය ම " යනු වෙන් හැදින්වූ යේ කුමක් දැයි. ඔහුට සම්පූර්ණයෙන් ම අදහසක් නොවී ය. තම මරණයෙන් පසු කෙතරම් කාලයක් ගතවීය. තම මරණයෙන් පසු කෙතරම් කාලයක් ගත වී ඇත් ද යන්න ආතර් නොදැන සිටි සෙයකි.
මතුසම්බන්දයි..
0 Comments